Sunday, May 25, 2014

නගරසෝභිනියක් දුටිමි


ලී දණ්ඩක් සොයං
වන වැදුණු මං
මස් ගොබින් පිරි
මුව නෑම්බියක් දැක
පසෙකලා
ලී දණ්ඩ
පසුපස්සේ වැටීමි
ඇය

නොහැකි තැන සොයාගත
අසරණව
මං
මුලාවූවෙකු සේ
ඉක්මන් කලෙමි
පය
සොයනුවස්
ලී දණ්ඩ

Wednesday, May 21, 2014

සංසාර ජීවිතේ


මා කුඩා කල
තාත්තා
පාපැදියේ ඉන්දවං
එක්ක ගිය හැටි
පෙරපාසල්

ලැබුණු පසු
මල්ලිව
පුට් සයිකලේ පොල්ලේ තියං මාව........
හැඩල්එක මත කොට්ටයක් උඩ
මල්ලිව තියං.......
ජර බර ගාන ලැගිජ් එක මත
ඉන්දවාගෙන අම්මා.....
පැදපු හැටි පාපැදිය
තාත්තා මගෙ.....

ගිහිං එනකොට හේනට
නොතකා  තෙහෙට්ටුව....
රිටිගල කන්ද වන්
ඉස්කෝලේ කන්ද
පැදපු හැටි...
වීරිය අරන්
ඉන්දවාගෙන තිදෙනාම
බසින්නට ඉඩ නොදී......

සිහියට නැගේ තවමත්
වට්ටමින්
දෙනෙතින්
කදුලු කැට.....

ගෙවී ගොසින්
වසර ගණනක්
චූටි පුතා මගෙ
ඉස්කෝලෙ ඇරලන්නට
ගියපු දිනයක පාසලට

දිටියෙමි.....

ඉස්කෝලෙ පල්ලමේ
ඈත කෙළවරේ,
සෙමින් සෙමින්
සයිකලයක් තල්ලු කරන්
කේඩෑරි වී ගිය
මහලු රුවක්
කන්ද නගින හැටි
පයිං


Monday, May 19, 2014

රට කන මීයෝ


දවසේ කුලියකින් අපි කා බී  ඇදලා
ඉන්නේ කෙලෙසකද දරු පැටවුන්  හදලා
ගෙනෙනා බඩු ටිකත් පන් මල්ලක දමලා
මීයන් කතී ඒවා මහ රෑ  ඇදලා

රුපියල් පනහකට ගත් කඩයෙන් පොල් ගෙඩිය
බෑවකි ගෑවෙ බෑවක් උඩ වං ගෙඩිය
මේ එක් රැයට එය කා ඇති මී ගෙඩිය
හෙටනම් උඹට අත්වෙනවා දං ගෙඩිය

මහ රෑ පුරාවට මුළු කුස්සිය පැත්ත
ගන්නට දෙයක් නැත ඇත මීයන් රොත්ත
උදයේ කං කෙදිරි බිරිදගෙ මිං මත්ත
ඇසුනොත් තොපිව වළලනවාමයි සත්ත

ඊයෙත් පාන්දර හිටි මම තද නින්දේ
බලයෙන් ඇහරවා පෙන්වූ දේ නන්දේ
පියනක් හපා ඇත පිහිටෙන් දත් ඇන්දේ
මීයන් මරා දාපං මට ඇය වැන්දේ

කඩයෙන් ගෙනා එළවලු පළතුරු එක්ක
ඇයි මේ හතුරුකං කියපං මා එක්ක
හම්බුනු සොච්චමෙන් කරවල ටික වික්ක
සතියක් කන්නහැක දරුපැටවුන් එක්ක

කුස්සිය පුරාවට හිමියනි මී ගදය
බැහැ ඉවසන්න මියෙනා එකනම් හොදය
විසිකර තිබෙන ඔය මෙත් ගුණ, මී වදය
අවසන් කරන්නට සැලසුව හොත් හොදය

ඉටිරෙදි සීලිමට වී දගලන  සද්දේ
හදවත බියෙන් ගැස්සෙයි තද නිදි මැද්දේ
මගෙ ගේ වෙතම ඇයි මේ කෙනෙහිලි  ඇද්දේ
යන්නට බැරි වුණිද මීයෙනි වන බැද්දේ

මී ගද තිබුණ මුත් ඒකට කමක් නැතී
මී බෙටි තිබුණ මුත් අතුගා දැමිය හැකී
එනමුත් කියන්නට තව එක් දෙයක් ඇතී
කෑ කෝ ගැසුව හොත් පොඩිදුව නිදන්නැතී

Saturday, May 17, 2014

මොකද කියන්නෙ අපි දෙයියට අරිමුද



කවුද කැමති ජීවිතේ ආයෙත් පාරක් ආපස්සට යන්ඩ. ම් ..... නෑ  එහෙම නෙමේ කවුද අකමැති  ආපසු පුංචි කාලෙට ගිහින් එන්න. ඉතිං මට මේ ලගකදි එක්තරා දෙවියෙක්  වරමක් දුන්නා.
 " පුත ! නුඹට  මං වරමක් දෙනවා......"

"දෙවියනි........නුඹ කුමක් වදාරන්නේද"

"නුඹ පෙර බවයක කරන ලද පිංකං වල මහිමයෙන් නුඹට වරමක් දෙනව. හැබැයි ඒ ආපහු සැරයක් පුංචි කාලෙට ගිහිං එන්ඩ........"

"පුංචි කාලෙ කිව්වට ඒකෙත් එක එක කාල තියෙනවා.....ඒ හිංද මොන කාලෙද ඕනෙත් කියල කියන්ඩ ඕනෙ......" කියල දෙයියො කිව්ව.

"අනේ.....දෙයියනේ.......! .මට කොල්ල කාලෙට යන්ඩ තිබ්බනං ඇති ....."

මහා දුමාරයක් එක්ක දෙයියො අන්තරස්දාන වුණා........ මට මහා භයක් ඇති වුණා.......මට නිකං දවල් තරු පෙනුනා වගේ වූනා......මොහොතක් මුළු පරිසරයම විවිධ වූ වර්ණවලින් දිලිසුනා........ඒත් එක්කම මගේ හිතේ අප්‍රමාණ සතුටක් ඇතිවුණා.........මං ආසාව වැඩි කමට හූ....කිව්ව..... මං කොල්ලෙක් වුණා......කිය කිය හූ කිව්ව.....පුළුවන් තරං හයියෙං....

ඈතින්   තුන් හතර දෙනෙක් මේ පැත්තට එනව පේනව.......කවුද යකෝ..මුන්  ටික...... මගේ හිත විමසන්ඩ වුණා........යකෝ....මේ  මගෙ යාළුවො සෙට් එකනේ.....

"මේ මේ උඹ කොහොමද මෙහෙට්ට ආවෙ.?..දෙයියො උඹලටත් වරං දුන්නද.....?"

"දැන් එතකොට උඹ විතරද පිං කරල තියෙන්නෙ.......අපිත් කැමති නැද්ද  ඔය ගෑනු දරුවන්ගෙන් එහෙම ටිකක් ඈතට ගිහිල්ල පොඩි සැපක් කාරිය ගන්න......අඩෝ...මේ වල්පල් නිකං එපා.....ගහනව උඹට ආපහු හිටිය තැනටම විසික්ක වෙන්ඩ ඕං....."

"නෑ..නෑ...බං මාත් කැමති නෑ බං  ආය හිටිය තැනට ආපහු  යන්ඩ.....ඒ වගේද බං මේ  ලෝකෙ....පුල් ආතල් නැද්ද මං කියන්නෙ..."

"මේ ඒක නෙමේ.....අපි යන්ද වැව පැත්තෙ පොඩ් රවුමක් දාන්ඩ......"

"යං මචන් යං මටත් බැරිවුණා හුග කාලෙකින් වැවකට පැනල නාල පොඩි ආතල් පාරක් ගන්ඩ."

"මේ...... සිරියගෙ ඔරු කබල තාම තියෙනවද දන්නෙ නෑ .. නේද බං......පවු  බං සිිරිය මාම ...මතකද පොරගෙ ඔරුව අරගෙන හොරෙන් මිනිහගෙම දැල් වලින් මාලු  අල්ලගෙන  අහුවෙයි කියල බයට ඔරුව එහා ගොඩෙන් තියල  වැව් ඉස්මත්ත දිගේ  ඇවිත් අර කෙලවරින් වැව් බන්ටෙක දිගේ ගෙදෙට්ට ගාටනව.........පිස්සු ඕයි ඕව මතක් වෙනකොට........"

"අප්පට සිරි.......මොකද බං මේ වැවට වෙලා තියෙන දේ........."

"ඇයි බං උඹ ලංකාවෙ නෙමේද හිටියෙ.......ගිය අවුරුද්දෙ අර අකාලෙට වැහපු වැස්සට වැව කඩාගෙන ගියානෙ ....ඒකයි ඔය....."

"ඉතිං බං  කැඩිච්ච විදිහටම තියෙන එක හරිද මං අහන්නෙ..."

"අනේ මේ පඩි ටෝක් දෙන්නැතිව වරෙන් එනවනං යන්ඩ....කැඩිච්ච ඒව කැඩිච්ච විදිහටම තිබිච්චාවෙ....ඕව හද හද ඉන්ඩ ගියොත් එහෙම...ගෑණි නඩු දානව...මිනිහ වෙන මිනිහෙක් එක්ක පැනල ගිහින් දැන් දවස් ගානක් ගෙදර ආවෙ නෑ.... කියල...."

"ඇයි  උඹ  ඒතරමටම ගෑනිට බයද බං..."

"පිස්සුද බං...ගෑණිට බය වෙන්ඩ....ඒක නෙමේ...උඹ තාම බැදල නැද්ද බං......මං මේ ඇහුවෙ....අර වගේ ප්‍රස්නයක් අහපු හිංද...."

"මචන් නුවන්....මතකද අර හොරොව්ව........"

"විමල්.....උඹ හිතං ඉන්නෙ......මට ඔය ඔක්කොම අමතකයි කියලද.... ඈ..."

"නුවනො.... උඹයි  විමලුයි කැලුමුයි තුන් දෙනා .... ඇත්තටම පේම වන්තයෝ....උඹල තුන්දෙනා ඔය  හොරොව්ව ලගට ඇවිත්... තොපි ඔය බැදපු උන්ම තමයි කවදහරි බදින්නෙ කියල  ලවු උන්මාදයෙන් හොරොව්ව පල්ලෙහාට පැනපු හැටි මට අද වගේ මතකයි. ඇත්තටම උඹල හරි වාසනාවන්තයි....හොරොව්වෙන් පල්ලෙහාට පනින්ඩ බයේ උන්නු මට මං ට්‍රයි කරපු එක  කවදාවත් සෙට් කරගන්ඩ  බැරි වුණා....අද තොපි තුන්දෙනාම  එදා ට්‍රයි කරපු කෑලි තුන බැදල  ඉන්නව දැකීමත් ඇත්තටම සතුටුයි මචංල......"

"අනේ මේ ධනසිරිය ....මට කියල හුප්පද අහගන්ඩ එපා ඕං....පස්සෙ තමා මට තේරුනේ.....එදා හොරොව්වෙන් පැනපු එකේ...රගේ....ඇත්තටම මෙහෙම වෙනව කියල දන්නවනම් කවදාවත් පනින්නෑ යකෝ...."

"කියල වැඩක් නෑ....ඒක නෙමේ........නුවනො.....".

"ඇයි....ඇයි....මොකද්ද වෙන්ඩ ඕනෙ"

"මොකද කියන්නෙ.....අපි දෙය්යට අරිමුද....."



===========මස===========

Friday, May 9, 2014

මේ මට පේන හැටි


පෙර රජ දවස සිට  එන හොද සිරිතක්ය
කවුරුත් එක වගේ නැත කිසි වෙනසක්ය
ඇද්දිලි කැපිලි ගෙරවිලි නම් රකුසෙක්ය
උෟ නැති එකෙක් මිහිපිටනම් දෙවියෙක්ය

එකෙකුගෙ කීම තවකෙකු ගරහනා ලොවේ
අද කාටවත් නම් මෙය පුදුමයක් නොවේ
මහ සග රුවන පෙන්වයි එඩි බලය ජවේ
ලොකු මැරකමකි තවකෙකු හට මෙහෙව් ලොවේ

පෙර පිනකින්ය ලැබුනේ කට කටකාර
ඒකෙන් පනී අදහස් ගොන්නක් මාර
කරමින් එකෙක් නිරුවත් කර ලෙස වීර
සිටියත් නොම දැනේ එන පරලොව පාර

අත්තා මුත්ත මී මුත්තාගෙන් ලැබුණු
දේපළ මොටද මම පුස් මිනිසෙකි දැමුණූ
ගැහි ගැහි ඉන්න දුප්පත් වැස්සෙන් තෙමුණු
උන්හට පුදමි මට කුමටද රජ ඔටුණු

යැයි තවඑකෙක් බෙරිහං දෙයි රට මැද්දේ
දුප්පත් එවුන් ටික ඌ පස්සෙන් ඇද්දේ
රැවටිලි කපටිකං මේ නැත හිත් වැද්දේ
යම රජු අපායේ ඇත කරමින් සද්දේ

ලැබුණ මුත් මිලියන ගණන් මහ දනන්ගේ පොදු වැඩට යෙදුමට
ඒව වියදම්  වුණේ මහතුනි බට දෙකේ පාලම්ද තැනුමට
ලෝකෙ හිනැහෙයි ගම්මු වැළපෙයි කවුරුවත් නැත නුඹට රිදුමට
එහෙත් ඉන්නව සොහොන් පිටියේ නුඹ වගේ උන් ගන්න පොලොවට


========මතු සම්බන්ධයි=========






Tuesday, May 6, 2014

කුලහීනයා



''ලොකු දුව උඹට ඉල කැඩෙනකං කියල තියෙනව අර... අර කම්මල් කාරයත් එක්ක තියෙන පලහිලව්ව නතර කරන්ඩ කියල.......උඹල හදන්නෙ අපෙ මූණෙ දැලි ගාන්ඩද?  මහ  මිනිහ එහෙම දැන ගත්තොත් විසුමක් වෙන්නෑ....... උන් කවුද ......අපි කවුද.....ලැජ්ජාවක් නැද්ද  ලලිතා...? ඔය ඕකුන්ගෙ මහ එකා ඒ දවස්වල උඹලෑ  අප්පොච්චි දකින කොට ආ පුංචි මහත්තයා කියල සුම්බරේ අතට අරං හතරට පහට නැමිච්ච උං......ඔය කම්මල් කාරයින්ට අපෙ පවුල් පෑහෙන්නෑ ලලිතො...''

'' අනේ අම්මෙ මේ උදේ පාන්දරම අම්මට මොනව වෙලාද...මේ..මේ කුල මල ගෝත්තරේ ඇදගෙන  ලැජ්ජ නැද්ද අම්මෙ...පාරෙ යන මිනිස්සුත් හිනා වෙනව....." අතුගගා හුන් ලලිතා ඉදල මුල්ලකට විසි කර ගෙතුලට ගියාය.

" ඔව් ඔව්....පාරෙ යන මිනිස්සු හිනා වෙනව....ඒක තමයි උඹට තියෙන අමාරුව..බලා හිටිං.....!.අනේ.... හපොයි..!මෙහෙම ගියොත් අපිට දොට්ට පිළට බහින්ඩ වෙන්නෑ....මේ පරට්ටි කරන අසමජ්ජාති වැඩ හිංද........"

මුළු ගෙදරම හෝරාවක් පමණ වේලාවක් මහා නිහඩ බවකින් වෙලා ගත්තීය.මල් මල් ගවුමකින් සැරසුණු ලලිතා එලියට බැස්සාය.

"උඹ මේ උදේම කොහෙ යන්ඩද..? අද දවල් වරුවෙ නේද පන්ති තියෙනව කිව්වෙ...."

"අද උදේ වරුවෙ  ක්ලාස් තියෙනව කියල කුමුදු  කිවුව......සල්ලි නැද්ද අම්මා......"

"උඹට සල්ලි නෙමේ දෙන්ඩ වටින්නෙ ඉල අතු පාරක්....මේ කොරන වැඩවල හැටියට....හිටිං බලන්ඩ."

“ ආ....ඉදා..මේක..මේ මං හංගල තියාගත්තෙ පොඩි හාමුදුරුවො  බලන්ඩ යන්ඩ කියල....කොහෙද ඉතිං ඒකටත් වෙලාවක් තියෙනවයැ....මං නැත්තං ඉතිං අප්පට පුතාලට  බත් තම්බන්ඩ එකියක් නෑනෙ....."

"මං යනව  අම්මා....“ ලලිතා හුන් තැනම පහතට නැමී අම්මාට වැන්දාය.

"පරිස්සමින් පලයං......අරූ එහෙම මුලිච්චි වෙන්ඩ යනව නෙමේ ඕං......."

වේගයෙන් පියවර තබා යන ලලිතා දෙස මොහොතක් බලා හුන් කුසුමාවතී  ගෙතුලට රිංගුවාය.
ලලිතා කුමුදුලාගේ ගෙදර යනවිටත් ඇය ලිද ලගට වී මුහුණ සෝදමින් උන්නාය.

"මොකෝ බං මේ උදේ පාන්දරම කුකුලත් කරේ තියාගෙන.....මොකෝ ඇදේ පැත්තවත් මාරුවෙලාද නැගිට්ටෙ........ ඇයි.. ඇයි බං මේ මූණ ඇඹුල් කරගෙන..."

"නෑ...බං අදත් උදේ පාන්දරම අර කන්දොස්කිරියාව පටන්ගත්ත. බැරිම තැන උදේ පන්ති තියෙනව කියල ගෙදරින් පැන ගත්ත.."

"උඹ හිංද මටත් ගෙදරට බොරු කියන්ඩ වෙනව...මොනව කරන්ඩද උඹ ඉතිං මගෙ හොදම යාළුවනෙ...ඒ හංද  ඉවසනව..."

"ඒක නෙමේ කුමුදු.....අද ජයතිලක අයියා ටවුමට එනව කියල කිව්ව මාව හම්බෙන්ඩ.වෙන දවසකුත් නෑලු අනේ..හෙට උදේම පීඨෙට යනවලු .."

"අනේ මං දන්නෑ බං උඹ මේ කරන ඒව කොතනින් කෙලවර වෙයිද කියල..."

"උඹ කියන්නෙත් මං වැරදි දෙයක් කරනව කියලද...මොනවද බං ජයතිලක අයියගෙ අඩු....ලබන අවුරුද්දෙ පීඨෙ ඉදල ආවම ගුරුවරයෙක්...අනිත්තෙක මේ ගමේම ඉන්නවද ඒ වගේ උගතෙක්...සිංහල නම් සිංහල.. දෙමළ නං දෙමළ...ඉංග්‍රීසි නං ඉංග්‍රීසී...මොනවද ජයතිලක අයියට බැරි....ඒ වගේද ආරෝහ පරිනාහ දේහෙ....ඔක්කොටම වැඩිය ..බලපංකො කතාවෙ තියෙන ලස්සන.... ඔය වන්සක්කාරයෝ කියන උන් ලගින් තියන්ඩවත් පුලුවන්ද  බං ජයතිලක අයිය...."

" හා ..හා නවත්ත ගනිං උඹෙ ඔය  කෙහෙල්මල් වර්ණනාව......ඈ බං ලලිතො ඇතකොට අපෙ උන් පඩරැල්ද.....?

"අනේ......කුමුදු......"

"විහිළුවට කිව්වෙ බං.....උඹට දුක හිතුනද......"

පොල් පටවපු ලොරියක් සේ ගෑණූ පිරිමි පටවාගත් විල්බට් මහත්තයාගේ  මලකඩ කාපු රෝසා බසයෙන් ඔවුන් දෙදෙනා අමාරුවෙන් බැස ගත්තාය.

"අර අර ඉන්නෙ උඹෙ ආරෝහ පරිනාහ දේහෙ.පලයං ගිහිං වැදපුදාගෙන වරෙන්....හැබැයි වෙලාවට ක්ලාස් වරෙන්.....මං යනවා...."  කිසිවක් නොතෙපලූ ලලිතා හෙමින් සීරුවේ ජයතිලක ලගට ගියාය.

"දැන්ද ආවෙ.."

"ඔව් දැන් ටිකක් වෙලා.."

"ඇයි අනේ ඔය උගුර නිකං බැරැන්ඩි වෙලා වගේ.."

"හුග කාලෙකින්නෙ හම්බ වුනේ ඒ හංද වෙන්ඩැති...."

"කීයටද පංති..."

"දොලහට...."

"ගොඩක් වෙලා තියෙනව එහෙනම්..."

"හ්ම්....."

"ඒක නෙමේ.......ගෙදරින් මොනවද කියන්නෙ...තාමත් මට අකමැතිද ? අම්මලා....."
ඇය කිසිවක් නොකීවාය.  " අපි යං බස්ටෑන්ඩ් එකට..''

නිදහස සොයා යන කුරුළු යුවලක් නිල් අහස් කුස පාවී යන්නා සේ බස් නැවතුම්පොල දෙසට ඔවුන් පියවර තබන්නට විය.

" ඒක නෙමේ ලලිතා..."

"ම්....“ ඇය කොදුලාය.

"ලබන  පෙබරවාරියේ පුුහුණූව  ඉවරවෙනව. ලග ඉස්කෝලෙකට පත්වීම හදාගන්න පුළුවන් වෙයි.පංසලේ ලොකු හාමුදුරුවොත් සෑහෙන ට්‍රයි එකක් ගන්නෙ මාව ගමේම ඉස්කෝලෙට දාගන්න..“

"එහෙනම් ඉතිං මෙච්චර මහන්සි වෙලා මං ඉගෙන ගන්න ඕනෙ නෑනෙ අනේ.එතකොට ඉතිං කොහොමත් මං ඉස්කෝලෙ හාමිනේ කෙනෙක්නෙ......"  ලලිතා අතක්  දිගුකර  ජයතිලකගේ නිකට මිරිකුවාය.

"ඌයි..."

"ඔයාට රිදුනද.."

"නෑ....."

"එහෙනම් ඌයි කියල කිව්වෙ..."

"ආදරේට......."

"ඇත්තටම ආදරේද.....?

"නැතුව මේ මුළු ලෝ......කෙටත් වැඩිය මං ඔයාට ආ.....දරෙයි....."

"කවද්ද අපි බදින්නෙ.......අයියෙ.....“

"පත්වීම ගත්තු ගමන් බදිමු......ගෙදරිං අකමැති වුණොත්......"

"අපි මැරෙනකම්ම ආදරෙන් ඉම්මු..."

"එහෙම වෙයිද...?

"කවදාවත් වෙනස් වෙන්නෑ මං ඔයාගෙමයි.ඔයාලගෙ අම්ම මට කැමති වෙයිද...?

"ලේලි  ගෙදර එක්ක එනකං තමා එයාල මග බලාන.....ඉ........න්....

ජයතිලකට කතාව අවසන් කිරීමට නොහැකි විණ. ඉතා වේගයෙන් පැමිණි මොටර් සයිකලයක් ඔවුන් ඉදිරියේ නතර කෙරින.

"පට්ට බැල්ලී.....තෝ පන්ති යනවා කියල නේද ආවෙ....මොනවද තෝ ඔතන ඉදගෙන කරන්නෙ ඇ...තෝ තෝ.... අපෙ පරම්පරාවම විනාශ කරනවා...පරට්.....ට බැල්ලී........."

ලලිතාගේ අයියා මරුවිකල්ලෙන් මෙන් කෑ ගහන්නට විය. මිනී මැරුමක් වූවාදෝයි ඇතැමුන් පැමිණ වටවී බලන්නට  විය.

"තොපි කම්මල් කාරයෝ ......තොට ලැජ්ජ නැද්ද යකෝ....උඹ හිතුව මදි අපේ පවුලට සම්බන්ධ වෙන්ඩ..හැහ්....අපි වගේ වන්සක්කාර පවුලකට උඹට හේත්තු වෙන්ඩ  බෑ........අන්න ඒක තේරුං ගනිං......ගෙරි.....පා....හරයා.....මෙහෙවර..... තෝ....තෝ..ව මං එවන්නං ආය  පන්ති...."

"අනේ අයියෙ.....මට බැන්නට කමක් නෑ......ජයතිලක අයියට බනින්න එපා.......ඔයාට පව් සිද්ද වෙයි.....මගෙ අයියෙ......."

"පව්.....පව් පිං ගැන  උඹ එනවද මට උගන්නන්ඩ ඈ යකෝ.....ඌට බනින්ඩ එපා කියන්නෙ මොකෝ ඌ මහ බඹාද. ඌ හිතාන ඇති ගුරුපත්වීමක් ගත්තම කූලේ උසස් වෙනවා කියල. කම්මල් කාරයො කම්මල්කාරයොමයි  යකෝ......."

ලලිතා ජයතිලක දෙසට අත දිගුකර හඩාවැටෙන්නට  වූවාය.ලලිතාගේ අයියා පහර පිට පහර දිදී ඇයව දක්කාගෙන යන අයුරු ජයතිලක කරකියා ගත නොහී කදුලු පිරි දෙනෙතින් යුතුව බලා උන්නා මිස ඔහුට කල හැකි දෙයක් නොවීය...

 ඇම්ලොප් කවරය දකිද්දීම ලිපිය කාගෙන්දැයි ජයතිලකට හදුනාගත හැකිය. මුතුවන් අත් අකුරින් ‘වෙතට‘ යන්න යොදා ලිපිනය ලියන්නේ ලලිතාම පමණක් බව ඔහු දනී....
                                                                                                                                                   නිවසේදීය
                                                                                                                      
සම්මා සම්බුදු සරණයි!

ආදරණීය මගේම  අයියා වෙත ලියමි.

වෙනදා මෙන් ඔබෙන් සුව දුක් අසන්නට මා පිං කර නැත. අයියේ මට දහස් වාරයක් සමා වෙන්න. එදා ගෙදර ගිය වෙලේ සිට ගෙදර අය මාව නොමරා මැරුව.ක්ලාස් තියා ගෙයින් එලියට බහින්ඩවත් මට දැන් තහනම්ය.ඒකටත් අප්පච්චීගෙන් අවසර ගන්ඩ ඕනෑ.මං ඔයාට එදා වගේම අදත් ආදරෙයි.ඒ ආදරය කවමදාකවත් වෙනස් වෙන්නෑ.ඒත් මේ සමාජය අපිට එකතු වෙන්නට ඉඩ දෙන්නෑ.ඔයාට හොද ගැහැණු ළමයෙක් හම්බෙයි. එදාට මං ගැන හිතන්න එපා. මට සමාවෙන්න.
                                                                                                         මීට
                                                                                                         ලලිතා
ජයතිලකගේ ඔලුව බමණය වන්නට විය. මේ ලිපිය එවා ඇත්තේ ලලිතාමද යන්න ඔහුට සැක සිතුනි.ඔහු නැවත වරක් ලිපිය දෙස නෙත් යොමා බලන්නට විය.අරක්කු බෝතල දෙකක් බිව් එකෙකු සේ ඔහුටම ඔහුගේ ගත සිත පාලනය කර ගැනීමට නොහැකි විය. ජයතිලක ලිවුම දෙස ඔහේ බලා උන්නේය.කිසිම දේශනයකට සහභාගි නොවූ ඔහු මුළු දවසම තම කාමරයටම වී සිටියේය. දිවා ආහාර පැකැට්ටුව වටා කුහුඹුවන් පිරී ගොසින්ය.දහයේ  තේකද එසේමය.

"ජයතිලක මොනවද උඹ ඔය කරන්නෙ..? දවසම කල්පනාව....මේ කෑම එක බලපං....ඒක කූඹි කනවා....මේව උඹලෑ අම්මා එක එකාගෙ ගෙවල්වල වැඩ කරල හොයා ගන්න තුට්ටු දෙකෙන් ගන්නේ..අඩුම තරමෙ ඒ ගෑනිට පිං සිද්ද වෙන්ඩ කෑම එකවත් කාපං ඉගෙන ගන්න එක පැත්තක තියල.....
දැන්.....හවස  ලෙක්චස් වලටවත් උඹ එන්නැද්ද.......?

" නෑ සුනිල් ........අද මගෙ ඇගට පොඩ්ඩක් හොද මදි......"
"එහෙනම් මං යනවා....තවත් බලා ඉන්නැතුව ඔය කෑම එකවත් කාපං....."

ජයතිලක ඇද මත වැතිර ගත්තේය. තම දෙඅත්ල හිස පිටුපසට තබාගෙන කැරකෙන විදුලි පංකාව දෙස බලා උන්නේ ය.

"කම්මල්කාරයෝ කම්මල්කාරයෝමයි....." ලලිතාගේ අයියාගේ කටහඩ දෝංකාර දෙන්නට විය. ඔහුගේ චිත්ත සන්තානය විදුලි පංකාව මෙන් වේගයෙන් කරකැවෙන්නට විය.

"ජයතිලක...!
"ජයතිලක .......!!    මොනව කරනවද බං දොර වහගෙන.....දොර ඇරහං  බං....."   කිසිදු හැල හොල්මනක් නොවීය........සුනිල් අතින් වැරෙන් පහරක් එල්ල කරේ කෝපයද මුසු වූ හැගීමකිනි. එය ඇතුළතින් අගුල්ලාය. සුනිල් කෑ ගසන හඩ ඇසී අහල පහල අයද එතැනට දිව  ආහ. බැරිම තැන සුනිල්  වැරෙන් පා පහරක් දෙර වෙත එල්ල කලේය. දොර දෙබෑ වී ගියේය. ජයතිලක ඇද මතය....එක් අතක් පහලට වැටී ඇත. කටින් ඒ වන විටත් සෙම පිටවන්නට විය. කනේරු මද කීපයක් ලියන මේසය උඩ විසිරී  ඇත.