Wednesday, February 25, 2015

ගියහොත් සුසානෙට මදකට ඇසේවි නුඹට හඩා වැලපෙන හැටි ප්‍රේමවන්තයින් ආදරය ඉල්ලා


සිරාගෙ කාමරේ  අජරාමෙට බූට් මාසයක් දාගෙන භූට් කාපුඋන්ගෙ අත්දැකීම් අයියෝ කොත්තමල්ලී...දුක හිතෙනව ඇත්තටම සිරෝ ඒ වෙන අටමගලෙකටත් නෙමේ අවුරුදු ගාණක් ලව් කරා...එක පාරකට බූට් එකක් කන්ඩ බැරිවුනා......සිරාගෙ කාමරේට ගියපු හිංද තමා ඒකෙත් රහ තේරෙන්ඩ පටන් ගත්තෙ..

ඒ දවස්වල මට මතකයි මම පුංචි කාලෙ 12 වසරෙ වගේ හිටිය අයිය කෙනෙක් පීරිසියකට අත කපාගෙන...ලේ පෙරාගෙන...විදුහල්පතිගෙ ඔ‍‍ෆිස් එක ඉස්සරහට ආව..පොඩි වුන් කාලෙ තේරුන්නැති වුනාට පස්සෙ කාලෙක තමා මතක් වුණේ ඒ අයියටත් බූට් මාසයේ අයියලාට වගේ  බූට් එකක් වැදිලාතමා කියල..(හැබැයි පස්සෙ උන් බැදල දැන් දරුමල්ලොත් හදාගෙන ඉන්නවා)

ඔය ගොඩක් කෂ්ටිය  ආදරේ යෂ්ටිය අතට ගන්ඩ කලින් වගේ මාත් ඒක අතට ගත්තා...කොච්චර දේවල් කිව්වත් ඒ වෙනකොට මගෙ වයස නම් කියන්ඩ හිතෙන්නෙම නෑ..වෙන මොකවත් නෙමේ ලැජ්ජාවෙ පණ නහිනවා..ඒකයි...මොකද ඒ කාලෙ  අපෙ වෙන්ඩ මාමණ්ඩි කාරයා කියල තියෙන්නෙ...ඔය චූ බරට &*^& කෙල්ලො ගන්ඩ පුළුවන්ද කියලයි...හැබැයි පස්සෙ දවසක උන්දැට මං කියල දුන්න....කොල්ලගෙ කෙරුවාව....ඒ දවස්වල මොට වෙච්චි උල්පිහියකුත් ඉනේ ගහගෙන අපේ ගෙදර එහෙමත් උන්දැ ගාටලා තියෙනවා....මොනව උනත් අපේ අම්මනම් කිව්වෙ .."පුතේ කෝකටත් ටිකක් පරිස්සමින්..." කියල. ඒ  දවස් වල මාත් නිකං වීරප්පන් වගේ....කිසි කෙනෙකුට හොයා ගන්නත් බෑ අපි කොහෙද ඉන්නෙ, මොනව කරනවද කියලවත්...වෙන්ඩ මාමණ්ඩි උතුමාණන් කොහෙන්හරි පාත් වෙනව කියල ආරංචියක් ආවොත් ඒකත් ඉතින් තප්පරේ යන්ඩ කලියෙන්  මගෙ දෙකනට වැටෙනව...රජ කාලෙ ඔත්තු සේවෙකුත් මට උන්නා.(දෙක වදිනකොට  මාසෙකට කලින් කාපුවත් වමාරන)

ඒ කතා ටික පැත්තට දාමුකො...මොකද  හොද හොද සෙල්ලං එළිවෙන ජාමෙට කියනවනෙ නේද...මේ කතාව කියන්ඩ ටිකක් උත්සාහ කරන්නෙ සිරා කොළුවගෙ බූට් මාසෙ වෙනුවෙන්ම නෙමේයි. ඒත් ටිකක් ලියන්ඩ හිතුණා. මේක ඇවිල්ල අවුරුදු 40 ට විතර කලින් ලවු එකක් කොටින්ම කිව්වොත් අපෙ අම්මගෙ කාලෙ.....මහ ලොකු කාලයක් නෙවෙයි ..මොකද මං හිතන්නෙ මේ බූට් කන එකට සෑහෙන අතීතයක් ඇතිනෙ...ඉතින්,අපේ අම්මත් එක්ක එකට ඉගෙන ගෙන තියෙන නැන්ද කෙනෙක්..එච්එස්සී විභාගෙත් හොදටම පාස් කරල තියෙනවා...ඒ කාලෙ හැටියට ඒ පැත්තෙන් ඒච්එස්සී විබාගයක් පාස් උනා කියන්නෙ කොච්චර ලොකු දෙයක්ද... ඒ වගේ මිනිස්සුන්ට තාමත් ගම්වල මිනිස්සු ගරු කරනවා...කතාව නොපිටට යන්ට හදනවා වගෙ...ඉත්න් මේ නැන්දගෙත් කල වයස මෝරාගෙන එනකොට....මල්සරා ඊතලේ විදල...මල්සරාගෙ ඉලක්කෙ කියන්නෙ..නැන්දගෙ  පපු කැනැත්තටම තමා එල්ල කරල තියෙන්නෙ....ඉතින් නැන්ද එතැනම මුසපත් වෙලා ආදරෙන්....දැන් ඉතින් නැන්ද මාමගෙ ආදරේ සරුවට වැවීගෙන යනවලු...දෙපැත්තෙන් ගල් මුගුරු දෙන්නට දිනපතා වදිනවලු...ඒත් දෙන්නගෙ ආදරේ බිදක්වත් අඩුවුණේ නෑ කියලලු ඒ දවස්වල උන්නු ගම්මු අදත් ඔය ශ්‍රමදාන වගේ පොදු තැනකට එක්කහු උනාම  දොඩවන්නෙ...
ඒ තරමටම ආදරෙන් වෙලී බැදී ඉදල තියෙනව ඉතින් මේ දෙන්න. නැන්දටත් ඉතින් දෙන්න පුළුවන් හැමදේමත් මේ අපිරිමිත ආදරය වෙනුවෙන්  අර මාමට පූජා කරල...ඕක දැනගත්තු අර නැන්දගෙ ගෙදර කට්ටියට පස්සෙ ගිනි පත්තුවෙලා...ඒත් කට්ටියම පරක්කු වැඩී..අහිංසක නැන්ද ඇග හම රැළි වැටෙන්ඩ ඔන්න මෙන්න  වන තුරුම තනිකඩ ජීවිතයක් ගත කරා.....වන මලකගෙ රොන් උරා බීපු ඒ අසික්කිත වන බඹරාට මොකද්දෝ කැම්පස් එකකින් ලැබිච්චි උපාධියෙන් ලොකු රස්සාවකට  ගිහින් අන්තිමේට ගමෙනුත් ගොහිං කියලයි ගම්මු නං කියන්නෙ... ගමේ වයසක මාම කෙනෙක් එක්ක පස්සෙ කාලෙක දීගෙක ගියපු නැන්දට පුංචි පුතෙකුත් හැබැයි හම්බ උනා...දොස්තරලනං කියල තියෙන්නෙ...ගර්භාෂ බිත්ති වේලිලාද කොහෙද නිසා  නැන්දට ගොඩක් අමාරු වුණා කියලයි...මේවත් ඉතිං ගම්මුම කියන දේවල් උනත් ඉතිං මේව ඔක්කොම ඉදුරාම ඇත්ත කියලයි මගෙ හදවත නං කොදුරන්නෙ..හැබැයි ඉතින් හම්බෙලා ඉන්න කොලු පැටිය නම් ශාන්ත දාන්ත කුරුළු පැටියෙක් වගේ...හැබැයි පැටියගෙ තාත්තටනං අවුරුදු 40 ට කිට්ටු වෙන දු පැටික්කියකුත් ඉන්නවා ඕං. ඒ ඔක්කොම මේ කොලු පැටියට ගොඩාක් ආදරෙයි...හැමදාම ඒ නැන්දලා දාල තියෙන පුංචි කඩ පොඩ්ඩට ගොඩ වෙලා සිගරට් එකක අමෘත රස විදින මට ඒ රහත් පේනවා...හැබැයි තවත් එක දෙයක් කියන්න තියෙනවා...ලමිස්සී කාලෙ නැන්දගෙ රොන් උරා බීපු අර පාදඩ වන බඹරට තාම දරු පැටියෙක් හදා ගන්ඩ බැරි වුණාලු....හැබැයි ඉතිං නැන්දනම් කියන්නෙ ජීවිතේ කවදාවත් ඒ මාමට සාප කරේ නැහැයි කියලලු....

ඒ එකම එක සිදුවීමක් ජීවිතේ පුරාවටම වැළපෙන..." ඇයි ජනකගෙ අක්ක එල්ලිලා මැරිච්ච හැටි....අයියෝ දුකේ බැරුවා ඒ තරමටම  සීදේවි කෙල්ල....ඒකිත් ඒකිගෙ අම්මම අඹපු එකී...අර කොහේදෝ නැති එකෙක් හිංදා බෙල්ලෙ වැල දාගෙන මැරුනා..ඇයි කනේරු  කාල මැරිච්ච ජයතිලක ...පවු මුළු පවුලම ගොඩ දාන්ඩ හිටිය එකම කොල්ල මුලු ගමටම උෟ ආශිර්වාදයක්.....කොහේදෝ නැති වංශක්කාර එකියක් හිංද නිකරුනේ මැරිලා ගියා..." මේ සියල්ලම ගමේ ගොඩේ ගෑණූන්ට නං කටේ විකන හපයක් වගේ කොච්චර විකුවත් ඇතිවීමක්නං නැත්තේමය....


ගියහොත්
සුසානෙට මදකට
ඇසේවි නුඹට හඩා වැළපෙන හැටි
ප්‍රේමවන්තයින්
ආදරය ඉල්ලා

Friday, February 20, 2015

නුඹ කෙසේනම් යම්ද අතහැර


ඩා බිදු රුහිරෙන් නැහැවී
පිට කොන්දෙන් දෙකකුල් සිඹ
මහපොලොවට එක් වූයේ
ප්‍රාණ රුධිරයයි අපගේ

මහා වෘක්ෂයන් පෙම් බැදි
පොරෝතලේ සෙනෙහස විද
මහ පොලොවට සිදලූයේ
ප්‍රාණ ශක්තියයි අපගේ

දේදුනු තැනුමට ලකඹර
ජීව හුස්ම පෙව් දියකර
නුඹ කෙසේනම් යම්ද අතහැර
ප්‍රාණයන් නුඹ සැදුව දැඩිකර

Wednesday, February 18, 2015

පුංචි පුතුට පණිවිඩයක්


යනෙන විට මග තොට
පරසිදු වදන් සිහියට
ආවොතින් සැමවිට
ලියා ගනු පුත වේය සුමගට

මිතුරන් සමග ගමනක්
යනෙන විට පැය ගණනක්
කිසිවිට පරුෂ වදනක්
නොපවසන් ගැහැණුන්ට අගනක්

උගත් දේ කිසිවිට
නොගත යුතු වේ තරහට
මිතුරන් සමග පමණට
කතාබහ යහපත්ය දිවියට

දැන උගත්කම් වත්
බලයෙන් පොහොසතින්වත්
දන මනිනු ගියහොත්
දෝශයක් එය කරමි සිහිපත්

සරල ලෙස දිවියක්
වේය නිතරම සවියක්
පෑන ඉස්සර අවියක්
ලියාපන් එක පුංචි කවියක්

මාරයා සැම විට
ශූරයාමයි දිවියට
කාරයා යැයි කිසිවිට
නොපවසන් පුත මාළු මාමට

සයිකලෙන් යනවිට
ගුරුතුමෙකු හමු වූ විට
දෙවියෙක්ය සිහි කොට
බැසිය යුතුමයි ගලව කැහැපොට

මට මතක නැත්තේ
සිහියක් පතක් නැත්තේ
යන කියුම් ඇත්තේ
මොඩයින්ටයි සිතිය යුත්තේ

ඉතිහාසයෙන් ගත යුතු
පාඩම්ය සිහිකටයුතු
තම යුතුකම්ම කල යුතු
හොද පුතෙකු වනු දැයට මින් මතු

ගැහැණූ ළමයින් හමුවන
සොයුරිය ලෙසට සළකන
හොද පුතෙකු වනු මැන
කුමට නුඹ හට තවත් අබරණ

Wednesday, February 11, 2015

අම්මේ


දරුවන් පිරිමි තිදෙනෙකි ගෙදරට හිටිය
නංගී තවම සුවදින් පිරි කිරි කැටිය
කාමර දෙකකි ඔක්කෝටම එහි සිටිය
වහලය පිදුරු සෙවිකල බිත්තිය මැටිය

හඩලන විටදි කුකුළා, නැගිටින අම්මා
තේ මුට්ටියක් ලිප උඩ තියමින් පෙම්මා
මුමුණන  ගීයකින් කම්මැලි කම පන්නා
වී ටික රැගෙන ගැරුමට කොරහට දැම්මා

නිදිබර පෙනුම ඇගෙ මුහුණින් පැන යාවී
මුතුවැල් විලස කවිපද මුවගට ඒවී
බත් ටික ඉදී සුවදින් රස ඉතිරේවී
කටහඩ ඇගේ ගේ හැම තැන  රැව් දේවී

නැගිටින් පුතුනි නැගිටින් කෑ ගසන්නී
ගේ දොර වැඩට  ඈ එහෙ මෙහෙ දුවන්නී
යන තෙක් පාසලට අඩහැර තබන්නී
කෝටුව ගන්න වුව පසුබට නොවන්නී

‍දරුවන් තිදෙන පාසල වෙත ගොස් ඇරලා
ඇය පිය මනියි හේනට කම්මැලි දුරලා
පියතුම සමග හරි හරියට වැඩ කරලා
අම්මා ගෙදර එනවිට  කළුවර කරලා

කන්නෙන් කන්න වහලය දිරුමට යාවී
අම්මා වියන පොල් අතු සැම එක් වේවී
පියතුම තැනුව වහලෙට සැරසිලි ඒවී
ඈ ගෙවිලියක් නොව ගෙදරට සිරියාවී

චින්තා මල්ලත් අතින් අරගෙන,  දරත් අරගෙන හිසේ හොවමිණ
සිතේ ශක්තිය ඇගේ දැවටුණ,   සදකි නුඹ අප  වෙතට පැමිනුණ
සිතේ සතුටින් පිරුණූ හැම දින,  නිබද සෙනෙහස හදේ  පැතිරුණ
දනිමි අම්මේ වින්ද අපමණ,  කන්ද දුක් අප නිසා වෙහෙසුණ


Friday, February 6, 2015

බහුබූත සිතුවිලි අංක 2





කාටත් මතක නැති වී තිබු  ගෙයි               මුල්ලේ
සගවා තිබුණාද එය කාලෙන්                   වැල්ලේ
සළකපු හැම දෙනම දැලි කුණු මෙන්        දැල්ලේ
දැන් දැන් එකතු වී ඇග හැම තැන             එල්ලේ

කම්කරු දනන් හවසට විත්                       තෙපලන්නේ
අගනා වදන් බව කවුරුත් නොම               දන්නේ
ඉහළම තැනෙහි  සිරිලක වැජබෙන           උන්නේ
මේ ටිකවත් නැතිද නුඹලට                       වැටහෙන්නේ

යහපත් සිරිත් පොඩිවුන් පිරි                     වරාගෙන
අදහස් ඔවුන් නැත කවදත්                        මරාගෙන
දින්නත් ලොවම මහ උන් ලේ                   උරාගෙන
හැමදා ඔවුන් කති තම මස්                        උයාගෙන

පණ රැකගන්න දොයිතුව සරි කර              ගන්න
නොහැකිව සැරසෙනව  සමහරු මිය         යන්න
ඇති තතු එයම බව කවුරුත් නොම            දන්න
උදවිය හදයි  උන් අමුවෙන්                      වළලන්න

කුළ‍ගොත් පාට උඩු හුළගට හැර               ලන්න
එක් ධජයක සෙවණ සතහට ලැබ             දෙන්න
බලයෙන් මනුසතා මරු තුරුලට                ගන්න
කාලය වෙනස් කර වෙනසක් කර             ලන්න

හට්ටි මුට්ටි ඇද ඇතිරිලි ගෙන                   දුන්න
සෝබන වලින් ඡන්දය ගත් ජය                ගන්න
දනපති වරුනි දැන් සිහි එළවා                  ගන්න
මහජන දියුණූවට නිසි පියවර                    ගන්න

කො.හේමා

Monday, February 2, 2015

බහුබූත සිතුවිල්ලක්

 
කුමක් කරන්නද
කුමක් කියන්නද
නොදනිමි මෙය නම් කාගෙ දොසා....

ස්වාමියා වුණු
ඔහු හද ඉල්ලා
හඩා වැටෙනවා
ගැහැණුන් දෙන්නෙක්.............

දරු පැටවුන් ගොඩ
දෙපැත්තෙ ඉදගෙන
තාත්තගේ සෙනෙහස අයදී............

අම්ම අප්ප නැති
අපි වාගේ උන්
ගේ පිල් දොරකොඩ උඩු බුරතී.........


කො.හේමා